Sunday, December 25, 2011

අම්බලන්ගොඩින් බිහි වූ සුරත් කස කරුවා.... දිනේෂ් චන්දිමාල්

මේ  අදහස මට ලැබුනේ හරි අහම්බෙන්,Nalin Kariyawasam මගේ ඉස්කෝලේ හොද ෆිට් එකක්..එය මට චැට් එකේදී කිව්වා යෝශිතා(http://www.facebook.com/yoshrox)  කියල කෙනෙක්උබට request කරවී කියල..මම ඇහුව ඇයි  කියල,ඊට පස්සේ තමයි කිව්වේ "මචෝ දිනේෂ් ගැන ලිපියක් ඕන වෙලා තියනවා දන්නා දේවල් ටිකක්  මුල ඉදන් හොයල ලියන්න" කියල.එට පස්සේ යෝශිතාගේ අදහසට  අනුව මම මේ ලිපිය මේ විදිය ලිව්වා, එට පස්සේ මේ ලිපිය මම යෝශිතාට mail කරා...ටික වෙලාවකින් මම දැක්ක Cricket Turf, Sri lanka Fans,We love sri lanka cricket කියන pages වල මේ ලිපිය තියනවා,මට ගොඩක් සතුටුයි . මට මේ ලිපිය ලියන්න දිනේෂ්ගේ බොක්කේ ෆිට් උන මල්ෂාන්  හා නිලුපුල් උදවු උනා.ඒ අයටත් මගේ ස්තුතිය පල කරන වෙලාවක් කරගනවා,ඒ වගේම යෝශිතාටත්.කෙසේ වෙත්ත පාසල් සමයේ සමකාලීනයෙක් ටෙස්ට් වරම ලබද්දී කාට ආඩම්බර නැත්තේ,එහෙනං දිනේෂ් ,මෙන්න උබට මගෙන් තෑග්ගක් 


දිනේෂ් චන්දිමාල් ලොකුගේ .....හ්ම් ....නම ඇසු පමණින් හඳුනන අපේ කාලයේ ක්‍රිකට් ජවය ඔහුයි. දකුණු සිරිලක අම්බලන්ගොඩ පුරවරයේ 1989 නොවැම්බර් මස 18 වන දින උපත ලැබූ ඔහු අත කුඩා කල සිටම පිත්ත සහ පන්දුව වැරදුනේ නැත.
කෙමෙන් කෙමෙන් උස මහත් වූ කුඩා දිනේෂ් 1995 පෙබරවාරි දෙවන දින විශිෂ්ටයන් රැසක් ලොවට දායාද කළ අම්බලන්ගොඩ ධර්මාශෝක පාසල් මාතාවට පය තැබුවේ බොහෝ දස්කම් රැසක් තමා සතු කරගෙනයි. යන්තමින් වයස අවුරුදු 10 වන විට ක්‍රීඩා පිටියට ගොඩඋන දිනේෂ්, අසෝක මහතා හා විරාජ් චමින්ද යන ක්‍රීඩා ගුරුවරුන්ගෙන් ක්‍රිකට් පොතේ මුලකුරු කියවීම ඇරඹුවේය. මින් වැඩි කල් යන්නට මත්තෙන් විද්‍යාලීය 13 න් පහළ කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය. වයස අවුරුදු 15 දී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස වැඩ බාරගන්නා දිනේෂ්, පිත්තෙන් මෙන්ම කඩුල්ල පිටු පස සිටද අති විශාල කාර්යභාරයක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළේය, යන්තම් අවුරුදු 15 පසු කරන දිනේෂ්, උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් පාසල් පළමු පෙළ කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවට තමන්ගේ නම ඇතුළත් කරගන්නට තරම් දස්කම් පෙන්වා තිබිණි.

2004 දෙසැම්බර් 26 මුළු ලොවම කම්පා කරමින් දකුණු ආසියාවට කඩා වැදුණු සුනාමි දළ රළ, බොහෝ දෙනෙකුට මෙන්ම දිනේෂ් චන්දිමාල්ටත් ඉතිරි කරේ තම ජීවිතය පමණි. තමා සතු සියලුම දේ මහා සයුර ඇදගෙන ගියද ඔහු සතු දක්ෂතාව කුමන බාධක කම්කටොළු පැමිණියත් කා හටවත් නැති කෙරීමට හැකි නොවීය. තරංගගෙන් පසු පාසල් කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම බාර ගත දිනේෂ්, 2005 වසරේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දෙවන පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගී වීමේ වරම් හිමිකරගතේය. වසර 8 කට පසු 2006 වසරේදී ධර්මාශෝක දේවානන්ද මහා ක්‍රිකට් තරගය ජයග්‍රහණය සදහා අරම්භක පිතිකරු ලෙස ඔහු දියත් කළ වේගවත් හැඩකාර ඉණිම මුළු අම්බලන්ගොඩම ජනතාවටම දිනේෂ් චන්දිමාල්ගේ සුබ අනාගතය ගැන ඉඟි පළකරන්නට හේතු විය.

සාමාන්‍ය පෙළ විභහයෙන් පසුව 2006 ජුනි මාසයේ පාසලේ වාණිජ අංශයට ඇතුල් වූ දිනේෂ්, 2006 නොවැම්බර් මස කොළඹ ආනන්දයෙන් ලැබුණු ආරාධනාවක් මත තම ක්‍රීඩා දිවියේ දියුණුව පතා කොළඹ බලා පිටත් විය.

ඉන් පසු ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස තේරී පත් උන දිනේෂ්, 2007 වසරේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමටද තේරී පත්විය. ඉන් පසු ශ්‍රීලංකා 19 න් පහළ කණ්ඩායමේ උප නායකත්වය දරමින් 2008 පෙබරවාරියේ මලයාසියාවේ පැවති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට වරම තමා සතු කරගතේය. 2009 වසරේ කොළබ ආනන්දයේ නායකත්වය දැරූ ඔහු එම තරග වාරය තුළ ලකුණු 1500 ඉක්මවා යමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. නමුත් සුවිශේෂී සිදුවීම නම්, ඔහු ප්‍රථමව ක්‍රීඩා කළ අම්බලන්ගොඩ ධර්මාශෝක කණ්ඩායමට එරෙහි තරගයේ දිනේෂ් ලකුණු නොලබා දැවියමයි. කෙසේ වෙතත් එම තරඟවාරයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්ම්නයද සමග තවත් සම්මාන රැසකට හිමිකම් කීමට වාසනාව ඔහු සතු විය.

තම පාසල් ක්‍රීඩා දිවිය ස්වර්ණමය ලෙස අවසන් කරන දිනේෂ්, 2009 දී එවකට ජාතික කණ්ඩායමේ නායකත්වය දරු කුමාර සංගක්කාරගේ ඇරයුමෙන් එන් සි සි කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමේ වරම දිනා ගත්තේය. මින් පසු සංගක්කාර, තිලාන් සමරවීර, උපුල් තරංග වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවවාද අනුශාෂනා යටතේ කණ්ඩායමේ ප්‍රබලයෙක් බවට පත් විය. එතෙකින් නොනැවතුණු 20 හැවිරිදි දිනේෂ් 2010 වනවිට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම, සභාපතිගේ කණ්ඩායම, රුහුණු කණ්ඩායම, මෙන්ම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේද සුවිශේෂී දස්කම් දැක්විය. 20- 20 පළමු පෙළ තරගාවලියේ විශිෂ්ටතම පිතිකරු සම්මානයට පාත්‍ර වෙමින් 2010 දී 20-20 ලෝක කුසලානයට සහභාගි වෙමින් පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගය නවසීලන්තයට එරෙහිව 2010 අප්‍රේල් 30 වන දින ඔහු මුහුණ දුනි. මින් පසු 2010 ජුනි මස පළමු වෙනිදා එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගත් මේ සුපිරි ක්‍රීඩකයා, තම පළමු සංචරයේම ඉන්දියාවට එරෙහිව අගනා ශතකයක් රැස් කරමින් මුළු ක්‍රීඩා පිටියම වර්ණවත් කළේය.

ඉන්පසු කණ්ඩායමෙන් පිටතටත්, ඇතුළටත් විටින් විට පැමිණි දිනේෂ්, තම පළමු පෙළ තරග වල ලකුණු රැස්කරමින් හොද ස්ථාවරයක් ගොඩනගා ගත්තේය. 2011 ලෝක කුසලානයෙන් පසුව ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත් වූ මොහු, ලොවම කතා කරන සුපිරි ඉනිමක් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ලෝඩ්ස් පිටියේදී ක්‍රීඩා කරමින්, අති විශිෂ්ට ශතකයක් රැස් කර බලා සිටි සැවොම අමන්දානන්දයට පත් කළ දිනේෂ්, ලොවටම කියා සිටියේ ඕනෑම පන්දුවකට ඕනෑම පහරක් තමා සතු බවයි.

කෙසේ වෙතත් පසුගිය දෙවසර තුළ, පළමු පෙළ තරග වාර දෙකේදීම තේරීම් කමිටුවට හොද හැටි කනේ පහරවල් ගසමින් මෙන් දිගට හරහට ලකුණු රැස් කළ දිනේෂ් චන්දිමාල්, තමන් ටෙස්ට් කණ්ඩායමටත් සුදුසු බව නොකඩවා ඔප්පු කරන ලදී

තමාගේ සියලු දේ නැති වී හරියටම වසර 7ක් ගතවන විට අද ඔහු ඔහුට නැති වූ සියලු දේ නැවත ලබාගෙන ටෙස්ට් වරම ලබාගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ජීවයක් එක්කරමිනි. දැනට එක්දින ජාත්‍යන්තර තරග 17 කට සහභාගි වී ලකුනු 567ක්, 31.42 සාමාන්‍යයක් හිමිකර ගෙන ඇති දිනේෂ් චන්දිමාල් නමැති තරුණ ක්‍රීඩකයාට අද දින ඔහු පළඳින ටෙස්ට් තොප්පිය දරා තවත් ලකුණු දහස් ගානක් රට වෙනුවෙන් රැස් කර තවත් උඩ පන්දු දහස් ගානක් රැක ගැනීමට අපි සියලු ශ්‍රී ලාන්කික ජනතාව වෙනුවෙන් ඔබට වාසනාව ශක්තිය ලැබේවායි එක හිතින් සුබ පතමු.

Dinesh Chandimal's Century at lord's Video


5 comments:

  1. කව්ද හිතුවේ සුනාමියෙන් ගෙවල් විනාස වෙච්ච කෙනෙක් හරියටම ඒ සිද්දියට වසර 7ක් පිරෙන දවසේ ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබයි කියලා ?

    මචන් දිනේෂ් උබට සුබ අනාගතයක් !

    ReplyDelete
  2. මම මුලින්ම චන්දිමාල්ව දැක්කෙ ආනන්ද නාලන්ද බිග් මැච් එකෙදි එදා මම චියර් කලේ නාලන්දෙට ඒ මම නාලන්දියෙකු නිසා.ඒත් එදා චන්දිමාල් ගෙ පිත්ත ක්‍රියාත්මකවෙන වෙලේ මට සතුටක් බලාපොරොත්තුවක් ඇතිඋනා තව අවුරුදු ගානකට චියර් කරන්න "සුලෝහිතයෙකු" බිහිවීම ගැන. අද ඒ බලාපොරොත්තුව ඉටුවෙලා.

    ReplyDelete
  3. ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඊළග බලාපොරොත්තුව..!!

    ReplyDelete
  4. නියම දක්ෂයෙක්..
    විශ්වසනීය බලාපොරොත්තුවක්..

    ReplyDelete
  5. මගේ අම්මගේ ගමේ කොල්ලෙක්. සෑහෙන්න දක්ෂයෝ බිහිවෙලා තියෙනවා අම්බලන්ගොඩ පුරවරයෙන්. කෝරලේ වලව්ව

    ReplyDelete